AdaDerana RSS

Friday, September 4, 2015

ආචාර්ය නිර්මාල් රාජපක්ෂවාදය පරාජය කළයුත්තේ ඇයිද

නිර්මාල්ලාගේ දේශපාලන උවමනාව ඉටුකරදීමට - බොදුබල සේනාව බාරගැනීම


ආචාර්ය නිර්මාල් රංජිත් දේහසිරි මහතා විසින් රාජපක්ෂවාදය පරාජය කළයුත්තේ ඇයිද යන්න දැනට හදුනාගෙන ඇති කෝටියක් කරුණු අතරින් එකක් ගැන සංයුක්ත අදහසක් දක්වා තිබිණි. ඒ බොදුබල සේනාව වැනි අන්තවාදී සංවිධාන දැන් ක්‍රියාත්මක නොවීමයි. එතුමා ඊට හේතුව හැටියට හදුනාගන තිබෙන්නේ මහින්ද යුගයේ එම සංවිධාන වලට රාජ්‍ය අනුග්‍රහය ලැබීම සහ යහපාලන ( මෛත්‍රී -රනිල් ) යුගයේ දී එම සංවිධාන වලට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන නිසා මේවා ක්‍රියාත්මක නොවීමයි. (මේ ලිපිය නිර්මාල් මහතාගේ එම "ප්‍රවාදයට" කෙටි පිළිතුරකි)

මතුපිටින් බලන කළ මෙම තර්කය ඇත්ත බව පෙනුනත් කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය වනපොත් කළ එතුමා භූ දේශපාලනය හැසිරවීමේ යථාර්තය නොදන්නවා විය නොහැකිය. එහෙත් අකල්හි වහින වැස්සක් පවා රාජපක්ෂලා ගේ ගිණුමටම බැර කිරීමට රුචියක් දක්වන එතුමාට මේ බලසේනා ද රාජපක්ෂලාගේ නිමවුමක් ලෙස පෙනී යාම පුදුමක් නොවේ..

ඒත් සිදු වූ ඇත්ත එය නොවේ. මේ බලසේනාවට පැවරී තිබු ව්‍යාපෘතිය ජනවාරි 8 දා ඉතා සාර්ථකව අවසන් කළේය. අවශ්‍ය කාර්ය ඉටු කළ පසු තවදුරටත් එම සංවිධානවල කාර්ය අත්‍යවශ්‍ය තීරණාත්මක සාධකයක් නොවේ. ඔවුන්ගේ මැදිහත් වීම නැවත අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ නැවත හිස ඔසවන තත්වයක් ඇති වූ විටය. දැන් ඒ නැවත පවරන ලද දෙවන ව්‍යාපෘතිය සඳහා ඔවුන් නාගයා ලකුණින් ලකලෑස්ති වෙන බව නිර්මාල් මහතාට නොපෙනේද? ගම්බිම් මට්ටමින් පහළ සාමාජිකයා මේ බලසේනා සමග අදටත් පෙනී සිටින්නේ ඉහළ පෙළ ඩීල් පිලිබඳ ඇති අනවබෝධය නිසා අවංක හැගීමෙනි. සිංහල බෞද්ධයාට ජාතියක් වශයෙන් අනතුරක් හා තර්ජනයක් පෙනෙන්නටම තිබෙන විට ඒ ගැන හැගීමෙන් සේවය කිරීමට ඉදිරිපත් වීම අවංකය. එහෙත් බොදුබල සේනාවේ ඉහළ ක්‍රියාකාරීත්වය කිසියම් කුමන්ත්‍රණයක කොටස් කාරයන් වන්නට ඇත්තේ නොදැනුවත් කමින් බව මට මුලින් සිතුනත් දැන් එය තමන් වෙත පවරාගත් සැලසුම් සහගත ව්‍යාපෘතියක කොටසක් බව පෙනෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මේ ඡන්දයේ දී තවත් කොටස් කර එජාප ජය පහසු කරදීමට දරන වෑයම නිසාය.

ආචාර්ය නිර්මාල් මහතාගෙන් ඇසීමට එක ප්‍රශ්නයක් තිබේ. මේ බලසේනා වකකිව යුතුයයි ඔබ කදවුරෙන් චොදනා කළ අකටයුතුකම් (මුලික වශයෙන් අලුත්ගම සිද්දිය ) පිලිබඳ මේ රජය පරීක්ෂණ කඩිනමින් පවත්වා දඩුවම් නොදෙන්නේ ඇයි. ඒ අලුත්ගම අලාභයට වඩා මේ වෙනසට (Regime change) ඔවුන්ගෙන් ලබාගත් ලාභය වැඩි නිසා නොවේද ? සහජීවනය මානවහිමිකම් ආදිය ගැන අපට නිරන්තර පාඩම් කියාදෙන බටහිර රටවල සංචාරය කිරීමට නිර්මාල් මහතාම සඳහන් කරන මේ අන්තවාදී සංවිධානයේ ඉහළ නායකත්වයට වසර පහකට දීර්ඝ වීසාලබා දෙන්නේ ඇයි. අනෙක් ප්‍රශ්නය මහින්ද නැවත එන පසුබිමක බොදු බලය නාගයා ලකුණෙන් වෙනම ඉල්ලන්නේ ඇයි?. එය කාගේ උවමනාවක්ද ? කාගේ කොන්ත්‍රාත්තුවක්ද ? එහි වාසිය ලැබෙන්නේ කාටද ? ඊළගට සිංහල බෞද්ධ අධිපතිවාදයේ මදුසමය ඉවරයි යනුවෙන් නිර්මාල් මහතාම ගොඩනගන ප්‍රවාදය සනාථ කිරීමට මෙවර බොදුබල සේනාව එතුමාටද අමතර උදව්වක්ද කරයි. මන්ද සිංහල බෞද්ධයාගේ මුර දෙවියන් ලෙස පෙනී සිටින පක්ෂයක් ආසන දෙක තුනක් වත් දිනාගත නොහැකි වූ විට බොදුබල සේනාවේ මේ අමනෝඥ වැඩෙන් ලෝකයට දෙන සංඥාව වන්නේ නිර්මාල්ගේ උක්ත ප්‍රවාදය සනාථ කරදීමයි. සිංහල බෞද්ධ කිසිවකු මෙවර බොදුබලේ මේ කොන්ත්‍රාත්වලට දැනදැන සම්මාදන් නොවිය යුතුබව මගේ හැගීමයි.

දැනට එක් නිදර්ශනයක් පමණක් දක්වමි. මා මීට දින කීපයකට ඉහත දී මුහුණු පොතින් හදුනාගත් එක්තරා බලසේනාවක ක්‍රියාකාරිකයකුට පළමුවරට දුරකතනයෙන් ඇමතීමි. එහිදී ඔහු ඉතා අවංකව කළ හෙළිදරව්වක් වුයේ ඔවුන් සමග ජාතික ව්‍යාපාරයේ එකට වැඩ කළ බොහෝ දෙනා දැන් රනිල් වික්‍රමසිංහ ගේ FB මඩ බලකායේ වැඩ කරන බවයි. අරලිය ගහ මන්දිරයට කැදවා රාජපක්ෂ රෙජීමයට නැවත හිස එසවීමට නොහැකි ලෙස කුඩුකරන්නැයි රනිල්ගෙන් අවවාද උපදෙස් ලැබූ කණ්ඩායමේ ඔවුන්ද සිටින බවයි. මීට පෙර මේ බලසේනාවල සටන් පෙරමුණේ සිට ඇත්තේ ඔවුනුයි. මේවාට අවංක හැගීමෙන් එකතු වූ අය දැන් මේ සිදු වූ දෙය ගැන තුෂ්නිම්භූතව වී සිටීති. ඔවුන් සමග එකතු වී කළකී දෑ අනුව කොයිවෙලේ හෝ කුදලාගෙන යනු ඇතැයි බියකින්ද ඔහු පසුවේ.මේ අනුව පසුගිය සමයේ සිදුවූ දෙය තේරුම් ගැනීමට අපහසුවක් තිබිය නොහැකිය. මහපොළවේ නොව රාජ්‍ය අනුග්‍රහය නොලබා කළ හැකි මුහුණු පොතෙවත් දැන් මේ සටන් තිබේද? මේ බලසේනා ක්‍රියාත්මක නොවීමට හේතුව තේරුම් ගැනීමට නිර්මාල් මහතා ඇතුළු ජනතාවට තේරුම් ගැනීමට මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?

රත්තනදෙණියේ මේධානන්ද හිමි

No comments:

Post a Comment